"අපගේ දැක්ම"
මානව හිතවාදි කාර්යක්ෂම හා ආකර්ශනීය සේවාවක් ලබා දීම තුලින්
මහනුවර දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම ප්‍රාදේශීය පරිපාලන ඒකකය බවට පත් කිරීම.
"අපගේ මෙහෙවර"
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත්
කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින්
ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම වේ.
හැදින්වීම හා භූගෝලීය පසුබිම
මහවැලි නදියෙන් වටවු භූමි ප්‍රදේශයක් වන නිසාත් පැරණි ගම්සභා බල ප්‍රදේශය ගඟවට කෝරළය වු හෙයින්ද පෞරාණික පොත පතෙහි සදහන් ආකාරයට කොට්ඨාශයට ඇතුලුවීමට කටුගස්තොට,තැන්නේකුඹුර,අම්පිටිය හා පේරාදෙණිය දෙසින් කඩවත් හතරක් පැවති ඇති හෙයින් මෙම කොට්ඨාසය මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස වර්තමානයේ හදුන්වනු ලැබේ.
ග්‍රාම නිළධාරී වසම් 64කින් හා ගම් 281 කින් ද මහනුවර හා සෙංකඩගල යනුවෙන් මැතිවරණ කොට්ඨාශ 2 කින් ද මහනුවර මහ නගර සභාව සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාව සහ පළාත් පාලන ආයතන දෙකෙන්ද මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සමන්විත වේ
විවිධ ජන කොටස් මෙහි වෙසෙන අතර සිංහල දෙමළ හා මුස්ලිම් ඉන් ප්‍රධාන ජන වර්ග වේ. මේ නිසාම මෙය බහු ආගමික ජන ප්‍රදේශයක් වන අතර බෞද්ධ, හින්දු,ඉස්ලාම් හා කතෝලික ඉන් ප්‍රධාන වේ. 177,351 ක් පමණ වු මෙම ජන කොටස් ඉතා සමගියෙන් හා සහයෝගයෙන් වාසය කරනු ලබන සාමකාමී පරිසරයක් සහිත ප්‍රදේශයක් ලෙස පෙන්වා දිය හැක. ඓතිහාසික,සංස්කෘතික,ආගමික හා ස්වාභාවික සෞන්දර්යාත්මක වටිනාකම් සහිත ස්ථාන රැසක් පිහිටි ස්වභාවධර්මයේ දායාදයක් වු සුන්දර භූමි ප්‍රදේශයක් වීම නිසාවෙන් ලෝකවාසී ජනතාවගේ අවධානයට ලක්ව ඇති හා ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මහනුවර නගරය මෙම ප්‍රාදේශී ලේකම් කොට්ඨාශයට අයත් වේ. සමාජ හා ආර්ථික යටිතල පහසුකම් වලින් දිස්ත්‍රිකයේ අනිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සාපේක්ෂව ඉහල මට්ටමක පවතින අතර රාජකාරී මට්ටමින් සංකීර්ණභාවයක් පවතී. මේ අනුව සලකා බලනවිට මහනුවර දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට සාපේක්ෂව සුවිශේෂි වු වටිනාකම් හා ලක්ෂණ සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස පෙන්වා දිය හැක.
මහනුවර දිස්ත්‍රික්‍කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතරින් භූමිය වර්ග කි 76.2 ක් වු අඩුම වපසරියකින් යුක්ත වන එහෙත් වැඩිම ජන ඝණත්වයක් පෙන්නුම් කරන කොට්ඨාශයද වේ.
මධ්‍යම කදුකරයේ උතුරින් විහිදෙන මහනුවර සානුවේ ස්ථාන ගතවී ඇති මෙම කොට්ඨාශය මහවැලි ගඟින් දකුණු ඉවුරේ පිහිටි රැළි බිමක් වන අතර එහි සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 1000 ත් 5000ත් අතර වේ. තෙත් කළාපයට අයත් මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වර්ෂාපතනය මි.මි 84.3 අතර පවතී. සංවහන හා නිරිත දිග මෝසම් වැසි වලින් වර්ෂයේ වැඩිම කාලයක් වර්ෂාපතනය ලැබේ. ප්‍රදේශයේ සාමාන්‍ය උෂණත්වය ෆැරන්හයිඩ් අංශක 70 ක් පමණවේ. නැගෙනහිර සිට බටහිර හා උතුරටත් දකුණේ සිට උතුරටත් විහිදෙන ජලවහන පද්ධතියක් ද දැකිය හැකි අතර ඒවා හන්තාන කදුවලින් හා හේවා හැට උස්බිම් වලින් ආරම්භවී දකුණු හා බටහිර දිශාවලදී පේරාදෙනිය හා ගැටඹේදී ද උතුරින් කටුගස්ටතොට හා හාරගමදී මහවැලි ගඟට එකතුවේ.
මෙම කොට්ඨාශයේ භුගෝලීය ස්ථානීය පිහිටීම උතුරු ග්‍රිඩ් අංක 200 - 240 ත් නැගෙනහිර ග්‍රීඩ් අංක 180 - 200 ත් අතර වේ. මෙම කොට්ඨාසයේ මායිම් ලෙස උතුර දෙසින් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් බටහිරින් කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයත් නැගෙනහිරින් උඩුනුවර ,යටිනුවර හා හාරිස්පත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශත් දකුණින් දොලුව හා උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් මායිම් වේ. එමෙන්ම මෙහි මායිමින් 70% පමණ මහවැලි නදියෙන් භෞතිකව මායිම් වේ.
ඓතිහාසික පසුබිම
ඓතිහාසික තත්වය සලකා බැලිමේදී පෙර දවසේ පටන් රාජධානියක් ව පැවති මෙම ප්‍රදේශය ඉතා ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන අතර මෙය තුන් සිංහලයේ අවසන් රාජධානිය ද විය.
පෞරාණික පොත පතතෙහි සදහන් වන ආකාරයට හාරගම ප්‍රදේශයෙන් එගොඩ,කුණ්ඩසාලයෙන් එගොඩ, ලේවැල්ලෙන් එගොඩ, වටපුලුව තොටින් එගොඩ, මහයියාව මුරපොලින් උඩ, හල්ඔලු තොටින් උඩ, ගැටඹේ තොටින් උඩ, අත්තන ගහ කඩුල්ලෙන් උඩ, ගැටඹේ තොටින් උඩ යන මේවායින් වටවු වර්තමාන මෙම කොට්ඨාශයේ භුමි ප්‍රදේශයට බොහෝ සෙයින් සමාන කමක් පෙන්නුම් කරයි. 14 වන සියවස වන විට රුහුණු රට වශයෙන් හැදින් වුවද අස්ගිරි තල්පතට අනුව මහනුවර මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ කටුපුලුව වශයෙනි. එමෙන්ම අවුරුදු 2000 ක් ඉක්මවා යන ඉතිහාසයක්ද ඇති බව සදහන් වේ.
මෙම ප්‍රදේශය ජය භුමියක් ලෙස දැඩිව විශ්වාස කල පණ්ඩිත වික්‍රමබාහු රජු ක්‍රි.ව 1357 සිට ක්‍රි.ව 1374 දක්වා සෙංකඩගල රාජධානිය කර ගැනීමේ වැඩ ආරම්භකර ඇත. සෙංකඩගල යන නම බිහිවීම පිළිබද ජනප්‍රවාද හා සාහිත්‍යානුගත විවිධ තොරතුරු ඇතත් සෙංකඩ නම් තවුසා හා සෙංකුණ්ඩ කුමරිය සිහිවීමත් රක්ත වර්ණ පාෂාණයක් තිබීමත් නිසා මෙම නාමය බිහිවු බව කියවේ. සෙංකඩගල රාජධානිය බිහිවීමෙන් පසු මෙය උඩරට වශයෙන් හැදින්වු අතර ඒ ප්‍රමාණයෙන් අනිකුත් ප්‍රදේශවලට වඩා වැඩි වු නිසා මහනුවර නමින් එකල සිට ව්‍යවහාර කර ඇති බව සදහන් වේ. ක්‍රි.ව 1592 මහනුවර අගනුවර වශයෙන් තබාගෙන පළමුවන විමලධර්මසූරිය රජු කන්ද උඩරට රාජධානිය ආරම්භකර ඇත. ක්‍රි.ව 1707 – 1739 අතර රජකල නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු දකුණු ඉන්දියානු රජ පෙළපතක් වු නායක්කාර් වංශිකයෙක් වු ශ්‍රී විජය රාජසිංහ ක්‍රි ව 1739 දී මහනුවර රාජ්‍ය උරුමය ලබා ගැනීමෙන් පසු අදට අනගාරික ධර්මපාල මාවත නමින් හදුන්වනු ලබන මලබාර් වීදිය එකල නායක්කාර වංශිකයන්ගේ ජනපදයක්ව පැවති බව සදහන් වේ. 1815 පසු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නිලධාරීන් සදහා මෙහි ගොඩනැගිලිවල පදිංචිය ලබාදී ඇත.
ක්‍රි.ව 1798 දි ශ්‍රි වික්‍රම රාජසිංහ රජකමට පත්වු අතර ක්‍රි.ව 1815 දී ඉංග්‍රිසීන්ට අයත් වන තෙක්ම රජ කළේය. 1815 වන විට මහනුවර දිස්ත්‍රික්කය ප්‍රදේශ 9 කට බෙදා වෙන් කර ඇත. මහනුවර ප්‍රදේශය අයත් වුයේ යටිනුවර කොට්ඨාශයටය. පසු කාලීනව මෙම යටිනුවර ප්‍රදේශය යටිනුවර, සෙංකඩගල හා මහනුවර යනුවෙන් කොටස් තුනකට බෙදී ඇත.
මෑත කාලීන ඉතිහාසය දෙස බලනවිට මහනුවර හා සෙංකඩගල මැතිවරණ කොට්ඨාශ දෙක මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්ව පවතින අතර පැරණි මැතිවරණ කොට්ඨාශය මහනුවර ලෙස සදහන් වේ. එහෙත් 1989 දී රාජ්‍ය පරිපාලනය විමධ්‍ය ගත කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට පෙර මෙම කොට්ඨාශය පරිපාලන වශයෙන් ග්‍රාම නිළධාරී වසම් 23 කට බෙදා වෙන් කර තිබුනි.
මෙම ප්‍රදේශයේ ඓතිහාසික තත්වය හා සිදුවීම් පිළිබද අධ්‍යනය කිරීමේදී ඒ හා බැදුණු ඓතිහාසික ස්ථාන හා සංස්කෘතික ලක්ෂණද වැදගත් තැනක් ගනී. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හඳුන්වන ශ්‍රී දළදා මාලිගාව ප්‍රමුඛ සතර මහා දේවාල සහිත මහනුවර ඇසල පෙරහැර පෙන්වා දිය හැක. මෙය රාජ්‍ය අනුග්‍රහය සහිතව වාර්ෂිකව පවත්වනු ලබන අතර ඇසල පෙරහැර භාරයේ බලය ලත් නිළධාරී ලෙස පත්කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාය. ඒ අනුව පෙරහැර රාජකාරී වලට සම්බන්ධවීම මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සුවිශේෂි කාර්ය භාරයකි.
1992 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| සුමන බණ්ඩාර බැද්දේවෙල මයා | 1992.06.01 | 1999.12.15 |
| එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මයා | 1999.12.23 | 2005.04.24 |
| බී.ජී.එච්.එම්. සුගතදාස මයා | 2005.06.25 | 2007.01.05 |
| සීතා විජේරත්න මිය | 2007.01.11 | 2008.09.01 |
| ටී.එම්.එස්. බණ්ඩාර තෙන්නකෝන් මයා | 2008.09.04 | 2012.04.11 |
| ඩී.එම්.ජී,ටී.ටී. කරුණාරත්න මයා | 2012.04.15 | 2015.05.14 |
| බී.එම්.පී.ජී.පී.වී.බණ්ඩාර මයා | 2015.05.18 | 2019.08.18 |
| ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මයා | 2019.09.20 | 2020.06.10 |
| යූ.ජේ.එම්.එස්.එස්.බී. ජයසිංහ මයා | 2020.06.26 | 2024.12.04 |
| එච්.එම්.එම්.යු.බි.හේරත් මයා | 2024.12.30 | 2025.10.15 |
| අමිල නවරත්න මයා | 2025.10.16 | මේ දක්වා |


















